ශ්‍රී ලංකාවේ “ලිංගික අධ්‍යාපනය” ගැන කතා කළාම බොහෝ දෙනාට මුලින්ම ඇතිවෙන්නේ වැරදි අවබෝධයක්. සමහරු හිතන්නේ පාසල් වල මේ විෂයය දුන්නොත් දරුවන්ට අනාචාර දේවල් උගන්වනවා කියලා. නමුත් ලිංගික අධ්‍යාපනය කියන්නේ එහෙම දෙයක් නොවෙයි. එය ශරීරයේ වර්ධනය, යෞවන වයසෙදි සිදුවන වෙනස්කම්, ප්‍රජනන සෞඛ්‍යය, අනුමැතිය (එකඟතාව), සහ ගෞරවය පිළිබඳ වයසට ගැළපෙන ලෙස දැනුම ලබාදීමකි. මෙය ප්‍රායෝගික ලිංගික ක්‍රියා උගන්වන එකක් නොවෙයි; සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ අධ්‍යාපනයකි!!

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනෙස්කෝ වැනි ජාත්‍යන්තර ආයතන පෙන්වා දී තිබෙන්නේ, සම්පූර්ණ ලිංගික අධ්‍යාපනය ලබාදෙන රටවල් වල යෞවන ගැබ්ගැනීම් අඩු බවත්, ලිංගික රෝග අඩු බවත්, සහ කුඩා වයසෙදි ලිංගික සම්බන්ධතා ආරම්භ කිරීම ප්‍රමාද වන බවත්ය. නෙදර්ලන්තය, ස්වීඩනය, ජර්මනිය වැනි රටවල් පාසල් මට්ටමේ වයසට ගැළපෙන පාඩම් මාලාවක් තුළින් මෙම දැනුම ලබාදේ. ඒ රටවල් වල සමාජ සෞඛ්‍ය දර්ශක අපට වඩා හොඳ මට්ටමේ පවතින බව සංඛ්‍යාතමකව පෙන්වා දී තිබේ.
අවිද්‍යාව ආරක්ෂාවක් නොවෙයි!!
අපේ රටේ යථාර්ථය නම්, දරුවන්ට ඉන්ටර්නෙට් සහ සමාජ මාධ්‍ය හරහා විවිධ ලිංගික අන්තර්ගත පොස්ට් / වීඩියෝ දකින්න ලැබෙනවා. නමුත් ඒවා නිවැරදිද? විද්‍යාත්මකද? සදාචාරාත්මකද? කියන එක සැකසහිතය. පාසල් නිවැරදි දැනුම ලබා නොදුන්නාම, වැරදි තොරතුරු ඔවුන්ගේ මනස පුරවයි. නිහතමානීව කතා නොකිරීමෙන් ගැටලු නැති වෙන්නේ නැහැ. අවිද්‍යාව ආරක්ෂාවක් නොවෙයි… දැනුමයි සැබෑ ආරක්ෂාව.
තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ ළමා අපහරණ සහ ලිංගික හිංසාවන්. දරුවෙකුට තම ශරීරය තමන්ගේම බව, අනවශ්‍ය ස්පර්ශයක් වැරදි බව, “නැහැ” කියන්න අයිතිය ඇති බව, සහ අයුතු හැසිරීම් හඳුනාගැනීම පිළිබඳ දැනුම තිබිය යුතුය. මෙය සංස්කෘතියට හෝ ආගමට විරුද්ධ දෙයක් නොවෙයි. ඒ වෙනුවට, දරුවන් අසරණභාවයෙන් ගලවා ගැනීමට උපකාරී වේ.
අපි ගණිතය, විද්‍යාව, තාක්ෂණය උගන්වන්නේ ලෝකය සමඟ ගැළපෙන්න. එහෙනම් මනුෂ්‍ය ශරීරය හා සම්බන්ධතා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමෙන් බියවිය යුත්තේ ඇයි? ලිංගික අධ්‍යාපනය කියන්නේ අනාචාරය ප්‍රවර්ධනය කිරීමක් නොවෙයි. එය වගකීම, ගෞරවය, සහ සෞඛ්‍යවත් සමාජයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය අධ්‍යාපනයකි. නිහතමානීව සිටීමෙන් සමාජය ආරක්ෂා වෙන්නේ නැහැ; විද්‍යාත්මක හා සංවේදී අධ්‍යාපනයෙන්ම ආරක්ෂාව ලැබේ.





